උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.පී. පුෂ්පකුමාරි මහත්මියගේ ආරාධනයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද බෝසත් ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ බාලිකා නේවාසිකාගාර ගොඩනැගිල්ල පසුගියදා උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පත්මසිරි මහතාගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි.

බෝසත් ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දැරියන් සඳහා වඩාත් සුදුසු සහ ආරක්ෂිත නේවාසික පරිසරයක් සකස් කිරීමේ අරමුණින් මෙම නව ගොඩනැගිල්ල ඉදිකර තිබේ. ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා උතුරු මැද පළාත් සභාව විසින් රුපියල් මිලියන 47ක මුදලක් වැය කර ඇති අතර, දෙවන අදියර සඳහා තවත් රුපියල් මිලියන 57ක මුදලක් වැය කිරීමට ඇස්තමේන්තු කර ඇත.

දැනට බෝසත් ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දැරියන් 40 දෙනෙකු පමණ රැඳී සිටින අතර, නව නේවාසිකාගාර ගොඩනැගිල්ල මගින් ඔවුන්ගේ දෛනික ජීවිතයට අවශ්‍ය මූලික පහසුකම් රැසක් වඩාත් විධිමත්ව සපුරා ගැනීමට අවස්ථාව සැලසේ. මෙය ඔවුන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය සහ සමස්ත ළමා සංවර්ධනය සඳහා වැදගත් පියවරක් ලෙස සැලකේ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් මධ්‍යස්ථානයේ දැරියන් විසින් විවිධ සංස්කෘතිකාංග රැසක් ද ඉදිරිපත් කරන ලද අතර, ඒවා ආණ්ඩුකාරවරයා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ ඇගයීමට ලක්විය.

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.ජී. ජයතිලක මහතා ඇතුළු මන්ත්‍රීවරුන්, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් චින්තක අබේගුණවර්ධන මහතා, ආණ්ඩුකාර ලේකම් නන්දන ගලබොඩ මහතා, උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.පී. පුෂ්පකුමාරි මහත්මිය, ළමා හා පරිවාස කොමසාරිස් ඩබ්.එම්.ඩී. නිර්මාණි අමරතුංග මහත්මිය ඇතුළු ළමා හා පරිවාස කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මධ්‍යස්ථානයේ දැරියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප – ප්‍රධාන අමාත්‍යාංශය මාධ්‍ය ඒකකය

මාධ්‍ය ඒකකය

සෞඛ්‍ය අමාත්‍යාංශය

උතුරු මැද පළාත

No comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

si_LKSinhala