පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් පැලෑටියාව ප්‍රදේශයේ නව සායන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරය වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

වසර ගණනාවක් පුරා පැලෑටියාව හා ඒ අවට ප්‍රදේශවල ජනතාව මුහුණ දුන් ප්‍රධාන සෞඛ්‍ය පහසුකම් හිඟයකට විසඳුමක් ලබාදෙමින් මෙම සායන මධ්‍යස්ථානය ඉදිකිරීමට පියවර ගෙන තිබේ. ජනතාවට ඇති වූ අපහසුතා අවම කරමින්, ප්‍රදේශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම හා පහසු සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

මෙම සායන මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 13.4ක මුදලක් වැය කිරීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන උතුරු මැද පළාත් සභාව විසින් සපයනු ලබයි. නව සායන මධ්‍යස්ථානය ඉදිකිරීමත් සමඟ ප්‍රදේශවාසීන්ට තම ප්‍රදේශයේදීම අවශ්‍ය මූලික සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ ප්‍රවේශයද තවදුරටත් ඉහළ නැංවීමට හැකි වනු ඇත.

මෙම අවස්ථාවට ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් චින්තක අබේගුණවර්ධන මහතා, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ගයාන් චතුරංග මහතා ඇතුළු මන්ත්‍රීවරුන්, ආණ්ඩුකාර ලේකම් නන්දන ගලබොඩ මහතා, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.පී. පුෂ්පකුමාරි මහත්මිය, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චම්පා ජේ. අලුත්වීර මහත්මිය, සිරිපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය චනිත් පේදුරුආරච්චි මහතා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම ප්‍රදේශවාසීහුද සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය

සෞඛ්‍ය අමාත්‍යාංශය

උතුරු මැද පළාත

No comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

si_LKSinhala