අනුරාධපුරයේ බොහෝ පෞද්ගලික ව්‍යාපාරික ස්ථානවල පවිත්‍රතා කටයුතු සඳහා යොදවා ඇති සනීපාරක්ෂක සේවකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අවශ්‍ය උපකරණ ලබා නොදීම හේතුවෙන් ඔවුහු දැඩි සෞඛ්‍ය තර්ජනයකට ලක්ව සිටිති.

විශේෂයෙන් එම ආයතනවල වැසිකිළි කැසිකිළි පවිත්‍රතා කටයුතු සිදු කිරීමේදී අවශ්‍ය පා වැසුම්(බූට්), අත්වැසුම්(ග්ලවුස් ),මුව ආවරණ මෙන්ම හිස්වැසුම්ද නොමැතිව මේ කටයුතුවල නියැළීම හේතුවෙන් ඔවුන්ට සෞඛ්‍යම තර්ජනයක් ඇති වී තිබෙන බව එම සේවකයෝ සඳහන් කරති.

ඉතා අඩු වේතනයකට සනීපාරක්ෂක වෙළෙඳ ආයතන මගින් මොවුන් බඳවාගෙන විවිධ ආයතන සඳහා ඉහළ ලාභයක් සහිතව අනෙකුත් ආයතන සඳහා යොදවා තිබේ.

දැඩි ආර්ථික අපහසුතාවක් ඇති මේ සේවකයෝ යම් හෙයකින් විසබීජයක් ශරීරගත වී රෝගී වුවහොත් මේ සනීපාරක්ෂක වෙළෙඳ ආයතන කිසිදු වගකීමක් හෝ උපකාරයක් නොකිරීම හේතුවෙන් මේ සේවකයෝ අසරණව සිටිති.

මේ අකටයුත්ත සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර් එම් ඩී පී පුෂ්පකුමාරි මහත්මියගෙන් කළ විමසීමේදී කියා සිටියේ එවැනි කටයුත්තක් සිදුවන්නේ නම් එම සේවකයින් විසින් පුද්ගලිකව තමන් හෝ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන ලෙසටත් ඔවුන්ගේ(අමාත්‍යාංශය දැනුවත් කරන සනීපාරක්ෂක සේවකයින්ගේ) අනන්‍යතාවට හානියක් නොවන අයුරින් මේ සම්බන්ධව සනීපාරක්ෂක කටයුතු සේවා සපයන පුද්ගලික ආයතනවලට දැන්වීමට වග බලාගන්නා බවත් සඳහන් කළාය.එම ආයතන මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙන උපදෙස් නොපිළිගන්නේම් අවශ්‍ය නීතිමය කටයුතු සිදු කළ හැකි බවද අමාත්‍යාංශ ලේකම්වරිය තවදුරටත් සඳහන් කළාය.

-චාමර වික්‍රමආරච්චි-

No comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

si_LKSinhala