දූෂණයට විරුද්ධව කටයුතු කරමින් රාජ්‍ය ආයතන තුළ සුපිළිපන්න හා වගකීම් සහගත සංස්කෘතියක් ගොඩනැගීම සඳහා අභ්‍යන්තර කටයුතු ඒකකය වැදගත් නිවාරණ මෙවලමක් ලෙස හඳුන්වාදිය හැකි බව උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සහ පළාත් අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානී ආර්. එම්. ඩී. පී. පුෂ්පකුමාරි මහත්මිය සඳහන් කළාය.

ඇය මේ බව සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව රාජ්‍ය ආයතන තුළ ස්ථාපිත කර ඇති අභ්‍යන්තර කටයුතු ඒකක පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අද පැවැත්වූ වැඩසටහනකට එක්වෙමිනි.

උතුරු මැද පළාත් සමූපකාර ශ්‍රවණාගාරයේදී පැවැති මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා පළාත් සමූපකාර අමාත්‍යාංශ යටතේ ඇති දෙපාර්තමේන්තුවල නිලධාරීන් පිරිසක් සහභාගි විය.රාජ්‍ය ආයතන තුළ සිදුවිය හැකි දූෂණ හා අක්‍රමිකතා වැළැක්වීම, එවැනි ක්‍රියා සඳහා ඇති අවස්ථා අවම කිරීම සහ ආයතනික ක්‍රමවේද හා හැසිරීම් රටාවන් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි.

අභ්‍යන්තර කටයුතු ඒකකය මගින් ආයතනයක පවතින ක්‍රියාදාමයන් පිළිබඳව නිසි අවධානය යොමු කරමින් දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට හැකියාව ලැබෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය පෙන්වා දුන්නාය. එමෙන්ම, දූෂණය සිදුවීමෙන් පසුව ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමට වඩා, දූෂණයට හේතුවිය හැකි අවස්ථා කල්තියා හඳුනාගෙන ඒවා වළක්වා ගැනීම සඳහා නිවාරණ ක්‍රමවේද ශක්තිමත් කිරීම වැදගත් බවද ඇය සඳහන් කළාය.

රාජ්‍ය සේවය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විනිවිදභාවය, වගකීම, අවංකභාවය සහ නීතිගරුකභාවය මත පදනම් වූ රාජ්‍ය සේවා සංස්කෘතියක් ගොඩනැගීම අවශ්‍ය බවද මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සමූපකාර අමාත්‍යාංශ ලේකම් ශ්‍රී ස්කන්ධකුමාර් මහතා, උතුරු මැද පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ගයාන් ඉන්දික මහතා සහ ආණ්ඩුකාරවර සම්බන්ධීකරණ ලේකම් ආනන්ද රත්නායක මහතා ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.

ඔවුන් ද මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය ආයතන තුළ අභ්‍යන්තර පාලන හා නිවාරණ ක්‍රමවේද ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව සහභාගි වූ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කළහ.

රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව හා විනිවිදභාවය වැඩිදියුණු කිරීම මෙන්ම දූෂණයට හා අක්‍රමිකතාවලට ඇති ඉඩකඩ අවම කිරීම සඳහා අභ්‍යන්තර කටයුතු ඒකක ක්‍රියාකාරීව පවත්වාගෙන යාම වැදගත් වන බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

No comment

மறுமொழி இடவும்

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன

ta_INTamil