බෝ නොවන රෝග වැළැක්වීම සහ පාලනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද බටහිර වෛද්‍ය සායනයක් අද (28) උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටි “සුව ආරක්ෂා ඒකකයේ” දී පැවැත්විණි.

උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්. එම්. ඩී. පී. පුෂ්පකුමාරී මහත්මියගේ සහභාගිත්වයෙන් පැවති මෙම වෛද්‍ය සායනය හා දැනුවත් කිරීමේ වැඩසටහන, සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් ඔවුන් අතර බහුලව දක්නට ලැබෙන බෝ නොවන රෝග හඳුනා ගැනීම, අවදානම් තත්ත්වයන් පිළිබඳව දැනුවත් කිරීම සහ නිරෝගී ජීවන රටාවක් සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම අරමුණු කරගෙන සංවිධානය කර තිබිණි.

ප්‍රාදේශීය බෝ නොවන රෝග වෛද්‍ය ඒකකය භාර වෛද්‍ය නිලධාරී වයි. උපසේන මහතා විසින් වෛද්‍ය වැඩමුළුව මෙහෙයවන ලද අතර, එහිදී සහභාගි වූ පිරිසගේ රුධිර පීඩනය පරීක්ෂා කිරීම, රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම සහ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) ගණනය කිරීම ඇතුළු මූලික සෞඛ්‍ය පරීක්ෂණ සිදු කරන ලදී.

එමෙන්ම, දෛනික ජීවිතයේදී සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වාගෙන යාම, නිසි ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීම, ශරීරයේ බර පාලනය කිරීම, ලුණු හා සීනි භාවිතය සීමා කිරීම, දුම්පානය හා මත්පැන් භාවිතයෙන් වැළකීම මෙන්ම නිසි වේලාවට වෛද්‍ය උපදෙස් හා පරීක්ෂණ ලබාගැනීමේ වැදගත්කම පිළිබඳවද දැනුවත් කිරීම් සිදු කෙරිණි.

වර්තමානයේ අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග, අධික බර හා ස්ථූලතාව ඇතුළු බෝ නොවන රෝග හේතුවෙන් පුද්ගල සෞඛ්‍යයට මෙන්ම පවුලට හා සමාජයටද සැලකිය යුතු බලපෑමක් ඇතිවන බැවින්, එවැනි රෝග කල්තියා හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර හා ජීවන රටා වෙනස්කම් සිදුකිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධාරණය කෙරිණි.

විශේෂයෙන්ම රෝග ලක්ෂණ මතුවන තෙක් නොසිට, නිසි කාල පරාසයන් තුළ සෞඛ්‍ය පරීක්ෂණ සිදුකර ගැනීම තුළින් බෝ නොවන රෝග කල්තියා හඳුනාගෙන සංකූලතා ඇතිවීම අවම කරගත හැකි බව වෛද්‍යවරුන් විසින් පෙන්වා දෙන ලදී.

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වාගෙන යාම තුළින් බෝ නොවන රෝග රැසක් වළක්වා ගැනීමට හෝ ඒවායේ අවදානම අවම කර ගැනීමට හැකි බැවින්, සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් දෛනික ජීවිතයේ සිටම යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරිණි.

මෙවැනි සෞඛ්‍ය පරීක්ෂණ හා දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මගින් සෞඛ්‍ය සම්පන්න කාර්ය මණ්ඩලයක් බිහිකර ගැනීමටත්, බෝ නොවන රෝග හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය හා සමාජීය බලපෑම් අවම කර ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත.

මෙම අවස්ථාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. තිලකරත්න මහතා, හෙද නිලධාරී කේ. එම්. වයි. එච්. කුමාරසේන මහතා, කේ. එම්. සුනීතා කුමාරී රූපසිංහ මහත්මිය ඇතුළු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ නිලධාරීන් සහ උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් රැසක් සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය

සෞඛ්‍ය අමාත්‍යාංශය

උතුරු මැද පළාත

No comment

மறுமொழி இடவும்

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன

ta_INTamil