මිලියන 325ක වියදමින් තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිවෙයි=
උතුරු මැද පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහා නව තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් එහි මුල්ගල තැබීම පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා උතුරු මැද පළාත් සභා සංකීර්ණයේදී සිදු කෙරිණි.
අනුරාධපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ කොටසක පවත්වාගෙන ගිය ආණ්ඩුකාර කාර්යාලය, 2017 වසරේ පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසු ප්රධාන අමාත්ය කාර්යාලය තුළ පවත්වාගෙන යනු ලබයි. නව ගොඩනැඟිල්ල ඉදිකිරීමෙන් මෙම තත්ත්වයට ස්ථිර විසඳුමක් ලැබෙන අතර දීර්ඝ කාලයක් පුරා ස්ථිර කාර්යාල ගොඩනැඟිල්ලක අවශ්යතාව පවතින උතුරු මැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයට නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම පළාත් පරිපාලන ක්ෂේත්රයේ වැදගත් පියවරක් ලෙස සැලකේ.
මහල් තුනකින් සමන්විත නව ගොඩනැඟිල්ල තුළ ආණ්ඩුකාර කාර්යාලයට අමතරව ආපන ශාලාවක්, තොරතුරු තාක්ෂණ ඒකකයක් සහ මාධ්ය ඒකකයක් ස්ථාපිත කිරීමට නියමිතය.
ව්යාපෘතිය සඳහා උතුරු මැද පළාත් සභාව රුපියල් මිලියන 325ක පමණ මුදලක් වැය කරන අතර, ඉදිකිරීම් කටයුතු රාජ්ය සමාගමක් වන මධ්යම ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම මඟින් සිදුකෙරේ.
මෙම අවස්ථාවට , පළාත් ප්රධාන ලේකම් රංජන ජයසිංහ, ආණ්ඩුකාර ලේකම් නන්දන ගලබොඩ, ප්රධාන අමාත්යාංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ.ජයලත්, උතුරු මැද පළාත් සෞඛ්ය අමාත්යාංශ ලේකම් ආර්. එම්. ඩී. පී. පුෂ්පකුමාරී, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් සමරතුංග හේරත්, සම්බන්ධීකරණ ලේකම් ආනන්ද රත්නායක, ඇතුළු සියලුම අමාත්යාංශ ලේකම්වරුන්, නියෝජ්ය ප්රධාන ලේකම්වරුන්,දෙපාර්තමේන්තු ප්රධානීන් ඇතුළු රාජ්ය නිළධාරීන්, මධ්යම ඉංජිනේරු සේවා පුද්ගලික සමාගමේ සභාපති ඉංජිනේරු ඒ.පි.ජයතිස්ස සහ එහි නිලධාරින්, උතුරු මැද පළාත් සභාවේ නිලධාරීන් සහ සේවකයන් පිරිසක් එක්ව සිටියහ.












No comment