හෙද නිලධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය විසින් දිවයින පුරා සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික් ශික්ෂණ රෝහලේදී පසුගියදා පැවැත්විණි.

හෙද වෘත්තියේ වෘත්තීයභාවය තවදුරටත් ඉහළ නැංවීම, නව දැනුම හා කුසලතා ලබාදීම, සේවා කාර්යක්ෂමතාව වර්ධනය කිරීම මෙන්ම රෝගී සත්කාර සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධාන අරමුණු අතර වේ. දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවල රෝහල් කේන්ද්‍ර කර ගනිමින් හෙද නිලධාරීන් එකමුතු කර මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

අනුරාධපුරයේ පැවති වැඩසටහන සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහල්වල සේවය කරන හෙද නිලධාරීන් 80 දෙනෙකු පමණ සහභාගි වූහ. වැඩසටහන යටතේ හෙද වෘත්තියට අදාළ විවිධ කරුණු පිළිබඳව දේශන හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වුණු අතර, වෘත්තීය වගකීම, සේවා ආචාරධර්ම සහ ආයතනික විනය පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

වැඩසටහනේ පළමු දේශනය සුපිළිපන්භාවය පිළිබඳව උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.පී. පුෂ්පකුමාරි මහත්මිය විසින් සිදු කරන ලදී. රාජ්‍ය සේවයේ සුපිළිපන්භාවය පවත්වාගෙන යාමේ වැදගත්කම, වෘත්තීය වගකීම් නිසි පරිදි ඉටු කිරීම, ජනතාවට වගකියන සේවාවක් ලබාදීම සහ ආයතනික කටයුතුවලදී අවංකභාවයෙන් හා වගකීමෙන් කටයුතු කිරීම පිළිබඳව මෙහිදී අවධාරණය කෙරිණි.

මීට අමතරව විශේෂඥ වෛද්‍යවරුන් විසින් හෙද නිලධාරීන්ගේ දැනුම ආකල්ප වර්ධනය කරමින් දේශන පැවැත්වූ අතර

හෙද නිලධාරීන්ගේ වෘත්තීය දැනුම හා කුසලතා සංවර්ධනය කරමින් වඩාත් කාර්යක්ෂම, ගුණාත්මක හා ජනතා හිතකාමී සෞඛ්‍ය සේවාවක් ගොඩනැගීම සඳහා මෙවැනි වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වැදගත් බව මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම අවස්ථාවට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ චම්පා ජේ. අලුත්වීර මහත්මිය, අනුරාධපුර දිස්ත්‍රික් ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ එම්.සී.ඩී. ආරියරත්න මහතා, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන්, සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති රවින්ද කහදවආරච්චි මහතා, ජාතික සංවිධායක ඩී.එම්. විජේසූරිය මහතා, දිස්ත්‍රික් සංවිධායක ඩී.එන්.ඒ. දිසානායක මහතා ඇතුළු සංගමයේ සංවිධායකවරුන්, හෙද නිලධාරීන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගි වූහ.

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

en_USEnglish