පොළොන්නරු දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ගල්අමුණ ප්‍රාදේශීය රෝහලේ අභිනවයෙන් ඉදිකරනු ලබන දන්ත සායන හා රසායනාගාර ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ උත්සවය උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හා පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පත්මසිරි බණ්ඩාර මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි.

ප්‍රදේශයේ ජනතාවට වසර ගණනාවක් පුරා පැවති දන්ත සායන හා රසායනාගාර සේවා සම්බන්ධ අඩුපාඩුවක් සඳහා විසඳුමක් ලබාදීමේ අරමුණින් මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීමට පියවර ගෙන තිබේ. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා උතුරු මැද පළාත් සභාව විසින් රුපියල් මිලියන 16ක මුදලක් වෙන් කර ඇත.

නව දන්ත සායන හා රසායනාගාර පහසුකම් ස්ථාපිත කිරීමත් සමඟ ගල්අමුණ සහ අවට ප්‍රදේශවල ජනතාවට සිය දන්ත සෞඛ්‍ය හා රසායනාගාර සේවා සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව හිමිවනු ඇත. එමගින් රෝගීන්ට දුර බැහැර ප්‍රදේශවලට ගමන් කිරීමේ අවශ්‍යතාව අවම කරමින් කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට ලංකාපුර ශාසන බල මණ්ඩලයේ ලේඛකාධිකාරි, පොළොන්නරුව–මින්නේරිය ප්‍රධාන සංඝනායක, විශ්‍රාමලත් විදුහල්පති සහ පන්සල්ගොඩැල්ල ශ්‍රී සුගත බිම්බාරාමාධිපති පූජ්‍ය සෝමරතන නායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කළහ.

ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති මංජුල අභයරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරුන්, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් චින්තන අබේගුණවර්ධන මහතා, ආණ්ඩුකාර ලේකම් නන්දන ගලබොඩ මහතා, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. ඩී. පී. පුෂ්පකුමාරි මහත්මිය, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චම්පා ජේ. අලුත්වීර මහත්මිය, ස්ථානාධිපති වෛද්‍ය නිලධාරී, ප්‍රදේශයේ විශේෂඥ වෛද්‍යවරුන ප්‍රදේශයේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යමනඩලය සහ ප්‍රදේශවාසීන් සහභාගි විය.

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

en_USEnglish