ලෝක පරිසර දිනයන් සමරමු


දෙසැම්බර් 05 ලෝක පාංශූ දිනය සමරමු

තමන්ගේ පස විනාශ කර­ ගන්නා ජාතිය තමාගේ විනාශය ද ළඟා කර ගනී – ෆ්‍රෑන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ට්

පස් මඟින් සපයන ප්‍රධාන පරිසර පද්ධති සේවා පාංශු දූෂණය හේතුවෙන් බරපතළ ලෙස හානියට පත් කරනු ඇති බව විද්‍යාත්මක සොයා ගැනීම් මඟින් තහවුරු වී ඇත. පාංශු දූෂණයෙන් ආහාර සුරක්ෂිතතාවයට දැඩි බලපෑම් එල්ල වන අතර විෂ රසායන මඟින් දූෂණය වූ පසෙහි පලදාව අඩුවීම නිසාත් දූෂණයට ලක්වූ පසෙහි වැවෙන භෝග මිනිස් හෝ සත්ව ආහාරයට නුසුදුසු වීම නිසාත් මෙම අනතුර ඇති කරයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින් වාර්ෂිකව ලෝක පාංශු දිනය ලොව පුරා සමරනු ලබයි. එදිනට පාංශු සංරක්ෂණය සහ තිරසාර ඉඩම් භාවිතයට අදාළ තේමා යටතේ විවිධ වැඩසටහන් ද ක්‍රියාවට නංවන අතර ලෝක පාංශු දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

ඉඩම් හායනයට ලක්වීම ශ්‍රී ලංකාවේ  ඉතා බරපතළ ගැටලුවක්ව ඇති අතර ඇස්තමේන්තුවලට අනුව ලංකාවේ ඉඩම්වලින් 1/3ක් පස් සෝදා පාලුවට ලක්වීමේ අනතුරකට මුහුණ දී ඇත. පාංශු ඛාදනය සහ පසේ පෝෂක ක්ෂය වීම මඟින් පස නිසරු වීම මධ්‍ය කඳුකරයේ ඉඩම් හායනයේ දක්නට ලැබෙන ප්‍රධානතම තර්ජන දෙකයි. මධ්‍ය කඳුකරයේ කෘෂිකාර්මික ඉඩම්වලින් 50% ක් මේ වන විටත් හායනය වී ඇත. පාංශු හායනය පිළිබඳ සංසන්දනාත්මක අධ්‍යයනයට අනුව මධ්‍ය කඳුකරයේ මහනුවර, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක වඩාත්ම බරපතළ ලෙස පාංශු හායනයට ලක් වූ දිස්ත්‍රික්ක බවට හඳුනාගෙන ඇත.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින් ප්‍රකාශයට පත් කරන ලද “පාංශු දූෂණය සැඟවුණු යථාර්ථයක්” (Soil Pollution a Hidden Reality) වාර්තාවට අනුව පාංශු දූෂණය යන්නෙන් අදහස් කරන්නේ පස තුළ රසායනික ද්‍රව්‍ය හෝ වෙනත් සංඝටක ආගන්තුක ලෙස අඩංගු වීම හෝ නියමිත සාන්ද්‍රණයට වඩා වැඩියෙන් අඩංගු වීමත් එමඟින් ඉලක්කගත නොවන යම් ජීවීන් වෙත අහිතකර බලපෑම් ඇති කිරීමයි. පාංශු දූෂණය ඍජු ලෙස තක්සේරු කිරීමට හෝ ඇසින් දැක ගැනීමට නොහැකි බැවින් එය සැඟවුණු අනතුරකි.

ලෝකයේ පාංශු සම්පත්වල තත්ත්වය පිළිබඳ මෑත දී එළිදැක්වුණු වාර්තාවකට අනුව පාංශු දූෂණය ලෝකයේ පාංශු සම්පත්වලට සහ ඒවා විසින් සපයනු ලබන පරිසර පද්ධති සේවාවලට බලපාන ප්‍රධානතම තර්ජනයකි. පාංශු දූෂණය පිළිබඳ ලෝකයේ සියලුම කලාපවල දැඩි අවධානය යොමු වෙමින් පවතී.

මෑතදී එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව විසින් සම්මත කළ යෝජනාවක් මඟින් පාංශු දූෂණය වැළැක්වීමට සහ කළමනාකරණයට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඒ සඳහා සහයෝගයෙන් ක්‍රියාකරන ලෙසත් සියලු රටවලින් ඉල්ලා සිටිනු ලැබීය. මේ සඳහා ලෝකයේ රටවල් 170 කට අධික සංඛ්‍යාවක් එකඟතාවය පළ කරන ලදී. එමඟින් පාංශු දූෂණය ලෝකයේ රටවල්වලට අදාළ වන ආකාරයත්, මෙම අනතුර වැලක්වීමටත්, ඒ සඳහා හේතු, එමඟින් ඇතිවන බලපෑම් අවම කර ගැනීමටත් ඇති අභිලාෂය පැහැදිලිව පෙන්නුම් කරයි.

පාංශු දූෂණයට ඉවහල් වන ප්‍රධාන කාරක වන්නේ භාවිත කරන හෝ කර්මාන්තවල අතුරු පල ලෙස නිපදවන රසායනික ද්‍රව්‍ය, ගෘහාශ්‍රිත, සත්ව ගොවිපළවල හා නාගරිකව ඇති කරන අපද්‍රව්‍ය (අපජලය ඇතුළු), කෘෂි රසායන ද්‍රව්‍ය සහ ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදනයි.

මෙම රසායනික ද්‍රව්‍ය පරිසරයට නිදහස් වීම අනපේක්ෂිතව සිදුවිය හැකි අතර ඛනිජ තෙල් කාන්දු වීම් හෝ ඉඩම් ගොඩකිරීම් සඳහා යොදාගත් ද්‍රව්‍යවලින් නිසාරණය වී කාන්දුවීම් උදාහරන වේ. එමෙන්ම හිතාමතා පාංශු දූෂක එක්කරන අවස්ථා ඇත. රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය යෙදීම, පිරිපහදු නොකරන ලද අප ජලය, වාරි ජලය ලෙස යොදා ගැනීම සහ මළ අපද්‍රව්‍ය සහිත රොන්මඩ බිම් සැකසීම් සඳහා යොදා ගැනීම උදාහරණ වේ. වායුගෝලීය තෙරපුම නිසා අවක්ෂේපණය වීමෙන්, කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසීමේ දී සුළඟට ගසාගෙන යාමෙන්, ආයුධ අත්හදා බැලීම්වල දී හෝ න්‍යෂ්ටික අනතුරු ආදිය නිසා ද පාංශු දූෂණ ඇති වේ.

ඖෂධ, අන්තරාසර්ඝ විභේදක, හෝමෝන සහ විෂ වැනි නව පාංශු දූෂක රසායන පිළිබඳ ද ජීව විද්‍යාත්මක පාංශු දූෂක වන බැක්ටීරියා සහ වෛරස් පිළිබඳ අලුතින් අවධානය යොමු වී ඇත. පස් මඟින් සපයන ප්‍රධාන පරිසර පද්ධති සේවා පාංශු දූෂණය හේතුවෙන් බරපතළ ලෙස හානියට පත් කරනු ඇති බව විද්‍යාත්මක සොයා ගැනීම් මඟින් තහවුරු වී ඇත. පාංශු දූෂණයෙන් ආහාර සුරක්ෂිතතාවයට දැඩි බලපෑම් එල්ල වන අතර විෂ රසායන මඟින් දූෂණය වූ පසෙහි පලදාව අඩුවීම නිසාත් දූෂණයට ලක්වූ පසෙහි වැවෙන භෝග මිනිස් හෝ සත්ව ආහාරයට නුසුදුසු වීම නිසාත් මෙම අනතුර ඇති කරයි.

නයිට්‍රජන් සහ පොස්පරස් වැනි පෝෂක ඇතුළත්ව බොහෝ පාංශු දූෂක පසේ සිට මතුපිට සහ භූගත ජලයට මුසු වන අතර එමඟින් විශාල පරිසර හානි ඇති වේ. මෙම පෝෂක අධික ලෙස ජලයේ සාන්ද්‍රණය වීම හේතුවෙන් ඇල්ගී වර්ධනය වීම සහ ජලයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩුවීමත් දූෂිත ජලය පානයට ගැනීම හේතුවෙන් මිනිසුන්ට විවිධ රෝග ඇති වීමත් සිදුවේ.

එමෙන්ම පාංශු දූෂක ඍජුවම පසෙහි අති ක්ෂුද්‍ර ජීවීන්ට සහ පසෙහි සිටින අනෙකුත් ජීවීන්ට හානි කරන අතර එමඟින් පාංශු ජෛව විවිධත්වය හානියට පත්වන අතර එම ජීවීන් විසින් සපයන සේවාවලට බලපෑම් ඇති කරයි.

විද්‍යාත්මක සොයාගැනීම්වලට අනුව පාංශු දූෂණය ඍජුවම මිනිසාගේ සෞඛ්‍යට බලපෑම් ඇති කරයි. ඍජුවම මිනිස් සෞඛ්‍යට බලපෑම් එල්ල කරන්නේ ආසනික්, ඊයම්, කැඩ්මියම්, කාබනික රසායනික ද්‍රව්‍ය වන පොලික්ලොරිනේටඩ් බ්යිපිනයිල්, පොලිසයික්ලික් ඇරෝමටික් හයිඩ්‍රොකාබන් සහ ප්‍රතිජීවක වැනි ඔසුයි.

1986 වසරේ දී රුසියාවේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර ව්‍යසනයේ දී විකිරණශීලී ද්‍රව්‍ය මඟින් සිදු වූ මහා පරිමාන පාංශු දූෂණය බොහෝ ජනතාවට දිගු කාලීන මතක ඉතිරි කර ඇත. දූෂණය වූ පස්වලට ප්‍රතිකර්ම කිරීම අත්‍යවශ්‍ය වන අතර නව විද්‍යාත්මක ප්‍රතිකර්ම සොයා ගැනීම සඳහා පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරේ.

පාංශු දූෂණය වැළැක්වීම සඳහා අවදානම් තක්සේරුව අනුව සිදු කරන ප්‍රවේශය ලොව පුරා ක්‍රියාවට නැ‍ඟෙන අතර එහි දී පාංශු දූෂණයට බලපාන ස්වභාවික ද්‍රව්‍ය හෝ මිනිසුන් විසින් නිපදවන ද්‍රව්‍ය හඳුනා ගැනීම හා ඒවායේ දූෂණ පරිමාණය, පරිසරයට සහ මනුෂ්‍ය සෞඛ්‍යයට ඇති කරන අවදානම පිළිබඳ තක්සේරු කෙරේ. හානිකර රසායනික ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීම සහ ගොඩකරන ලද ඉඩම්වල රසායනික ද්‍රව්‍ය වෙන් කිරීම වැනි මිල අධික භෞතික ප්‍රතිකර්ම වෙනුවට වැඩි දියුණු කරන ලද ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක හායනයන් සහ ශාක යොදා ගනිමින් පසෙහි ඇති හානිකර රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීම වැනි ජීව විද්‍යාත්මක ක්‍රම වැඩි වැඩියෙන් යොදා ගනිමින් තිබේ.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සංශෝධිත “ලෝක පාංශු ප්‍රඥප්තිය”මඟින් නිර්දේශ කරන පරිදි පාංශු දූෂණය වැළැක්වීමට නීති ක්‍රියාත්මක කරන සහ පිළිගත් සම්මත ප්‍රමාණයට වඩා පාංශු දූෂක සාන්ද්‍රණය වීම වැළැක්වීමට කටයුතු කරන රාජ්‍ය එම රටවල ජනතාවගේ ඉහළ සොඛ්‍ය තත්ත්වය සහ යහපත් ජීවිතයත්, සොඛ්‍ය සම්පන්න පරිසරයත් ජනතාවට සුරක්ෂිත ආහාර ලබා දීමත් සහතික කිරීමට සමත් වන බව පවසයි. ප්‍රඥප්තිය මඟින් සම්මත ප්‍රමාණයට වඩා දූෂණයට ලක්වූ පස් ප්‍රතිකර්ම මඟින් යථා තත්ත්වයට පත්කර ජනතාවගේ සෞඛ්‍යය සහ පරිසරය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ද රජයන්ට අවධාරණය කරයි. එමෙන්ම ගෝලීය වශයෙන් තිරසාර පාංශු කළමනාකරණ ක්‍රමවේද ක්‍රියාවට නගමින් කෘෂිකාර්මික මූල මඟින් සිදුවන පාංශු දූෂණයන් සීමා කිරීම ද අත්‍යවශ්‍යව ඇති බව ප්‍රඥප්තියෙන් අවධාරණය කරයි.

(උපුටා ගැනීමකි)

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *